කුඹුරු ව්‍යාපෘතිය, පළවෙනි වටය

Cover Image for කුඹුරු ව්‍යාපෘතිය, පළවෙනි වටය
පුබුදු කොඩිකාර
පුබුදු කොඩිකාර

2020 ඔක්තෝබර් මස 17 වෙනිදා අපි කුඩා කුඹුරක වැඩ ආරම්භ කරා. මුලදි අපිට අවශ්‍යවුනේ කොහොමද කුඹුරක් කරන්නේ කියල වැඩේට බැහැලම දැනගන්න. ඒ නිසා අපිත් කුඹුරට බැහැල වැඩකරා. ප්‍රශ්නයකට පිළියම් හොයනවනම් අපි ඉස්සෙල්ල ඒ ප්‍රශ්නය අත්විඳලා ඉන්න ඕනේ.

බිම සකස්කිරීම සහ වී වැපිරීම

අපිට අවශ්‍යවුනේ රසායනික පොහොර නොදා පලදාව ලබාගන්න. අපිට හෝකන්දර දක්ෂිනාරාම පිරිවෙණට අයත් කුඹුරක් ලබාගැනීමට හැකිවුණා. පන්සලේ නායක ස්වාමීන්වහන්සේ වන පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් අපට කුඹුර භාරදුන්නේ එක කොන්දේසියක් සමගයි. කිසිලෙසකවත් රසායනික පොහොර භාවිතය තහනම්! අපට අව්ශ්‍යවුනෙත් එයමයි.

අපට ලැබුනේ පුරන්වෙච්ච කුඹුරක්. අවුරුදු ගානක් කිසිකෙනෙක් එහි වගා කරලා තිබුනේ නෑ. මෙහෙම කුඹුරක් ගොඩගැනීම ලේසි නෑ. සෑහෙන්න කාලයක්, ශ්‍රමයක් සහ මුදලක් වැයවෙනව. මුලින්ම කුඹුර ආක්‍රමණය කරල තිබ්බ තණකොළ ටික කපන්න සිද්ධවුණා. ඊටපස්සේ නියර අස්ගහල හාන්න ලෑස්තිවුනා. අපේ කුඹුරේ සමහර තැන් ගොඩක් එරෙනවා. ඒ තැන්වලට ට්‍රැක්ටරය දාන්න බෑ. අනික් තැන් දෙපාරක්ම ට්‍රැක්ටරයෙන් හාලත් අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න බැරිවුනා. අපිට උදැල්ලෙන්ම බිම කොටන්න සිද්ධවුණා. කලින් කිව්වවගේ පුරන්වෙච්ච කුඹුරක් ගොඩගන්න එක ලේසි නෑ. මුල්පාර කොහොමත් හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ කාරනාව හැම හොඳ ගොවියෙක්ම දන්නවා. එනිසා පුරන් කුඹුරක් මුල්පාර කරනවානම්, පසුබට නොවී දෙවෙනි පාරත් කරන්න මතකතියාගන්න. මහන්සියේ ප්‍රතිපලය එන්නේ එදාට!

Field at Start

බිම සකස්කරගත්තයින් පසුව, පෝරු ගාල, කාබනික පොහොර කුඹුරට එක්කර, වී වපුරන්න පටන්ගත්ත. ඉතා සෞම්‍ය කාලගුණයක් යටතේ වී වැපිරීම සිද්ධකරා.

Leveling the Field

Sowing Seeds

විපත්තිය

සති දෙකක් යනවිට ටිකෙන් ටික ගොයම කහ පැහැ වෙන්න ගත්ත. ගොයම මැරෙන්න යනවා. අනෙක් ගොවි මහතුන්ට අනුව, අපේ ගොයමට කූරු ලෙඩේ ඇවිත්. ඒ අයට අනුව, මේ ලෙඩේ එන්නේ, පරක්කු වෙලා වැපුරුවහමලු. කුඩා කෘමියෙක්, ගොයම් ගහේ සාරය උරා බොනවා. අපි තව කාබනික පොහොර කොහොඹ කුඩුත් එක්ක මිශ්‍රකරල දැම්ම. එත් හරිගියේ නෑ. බැරිම තැන, අපට කෘමිනාශකයක් භාවිතා කරන්න සිද්ධවුණා. ඉන්පසුව, දවස් 4ක්, 5ක් යනකොට, ගොයම ආපහු පණ ගහල ආව.

එත් සමග, පුරන් කුඹුරේ වල් පැල අඩුකරගන්න වල්නාෂකයක්ද ඉසින්න සිද්ධවුණා. වාසනාවකට මුල් සති කිහිපයේ ආපු මේ ප්‍රශ්න දෙකෙන් පස්සේ වෙන කිසි ප්‍රශ්නයක් ගොයමට ආවේ නෑ. ඉන්පසු කිසිම අහිතකර දෙයක් ගොයමට ගැහුවේ නෑ.

කාබනික පොහොර පමණයි භාවිතා කරේ

අනික් කුඹුරු එක්ක බලද්දි අපේ ගොයම් ගස් ටිකක් බාලයි. පාටත් අඩුයි. අනික් කුඹුරුවල අය නම් යන්තම් කොලපාට අඩු උනත් යුරියා ගහනවා. අපේ කුඹුරට යෙදුවේ කාබනික පොහොර පමණයි. පසුව අපිට දැනගන්න ලැබුන, ගොයම තද කොලපාටම වෙන්න ඕනේ නෑ කියල. යුරියා උනත් වැඩිපුර පාවිච්චි කරොත් පලදාවත් අඩුවිය හැකියි ලු.

ගොඩක් අය අපි දිහා බලල හිනාවුණා. ගමේ ගොඩක් අය කියන්නේ දේශීය ක්‍රමයට, කාබනික පොහොර පමණක් පාවිච්චි කරලා කුඹුරක් කරන්න බෑ කියල (හැබැයි අපි කියන්න ඕනේ අපේ ගමේ ගොවි මහත්තුරු අපිට විශාල ලෙස උදව් කරා. සමහර දවස්වල අපේ කුඹුරෙත් තියන අඩුපාඩු ඒ අයම ඇවිත් හරිගස්සල දුන්න. මොකුත් නොදන්න අපිට පාර පෙන්නුව් ඒ අය. අපි හොයාගන්න ක්‍රමත් අපි මුලින්ම දෙන්නේ ඒ අයට.). එත් අපි දැනන් හිටිය මුල්පාර පළදාව අඩුවෙයි කියල. අපි උත්සාහ කරේ මුල්පාරම සල්ලි හොයන්න නෙමේ. අපේ උත්සාහය කෙසේ හෝ දැන් පවතින ස්වාභාවදහමත් එක්ක වස විසෙන් තොරව සාර්ථකව කුඹුරක් කරන ක්‍රමය සොයාගැනීමයි. අපි කරන්නේ පර්යේෂණයක්!

Final Field

අපි ඉගෙනගත්ත් දේ

අන්තිමේදී අපි ගොඩක් දේවල් ඉගෙනගත්ත. වැදගත්ම පාඩම තමයි, සම්පූර්ණයෙන්ම වස විසෙන් තොරව යනවනම්, අනික් අය කුඹුරු කරන විදියට කරන්න බැ. එකට වෙනම ක්‍රම තියෙනවා. බිම සකස්කිරීමේ ඉඳන් වෙනස්වෙන්න තියෙනවා. අපි තාම ඒ ක්‍රම ඉගෙනගනිමිනුයි ඉන්නේ.

දෙවෙනි පාඩම තමයි අපිට ජාන වෙනස්කරපු බීජ භාවිතා කරන්න බෑ. ඒ බීජ වලට ලෙඩ වැඩයි. රසායනික පොහොර අත්‍යවශයි. අපි කුරුළු තුඩ වගාකරේ. අපිට පසුව දැනගන්න ලැබුන ඒ බීජත් ජාන වෙනස්කරපු කුරුළු තුඩ (කුරුළු තුඩ දේශීය වී වර්ගයක්) වර්ගයක් බව. දෙශීය, කිසිම ලෙසකින් ජාන වෙනස්නොකරපු බීජ ලෙඩවලට ඔරොත්තුදෙන ප්‍රමාණය වැඩයි.

තුන් වැනි පාඩම, කාලය. වෙලාවට කුඹුර සකස්කරල, වෙලාවට වපුරන්න. නැත්නම් ලෙඩ එන ප්‍රවනතාවය වැඩයි.

හතර, කුඹුරක් කරන එක ලේසි පහසු දෙයක් නෙවේ. කඩේට ගිහින් හාල් කිලෝ එකක් අරන් උයන එක ලේසියි. තමන්ම වගා කරන්න ගියහම එදිනෙදා කන බත්පත දිහා වෙනම විදියකට බලන්න පුළුවන් වුනා. ගොවිතැන් කරනකොට, කොච්චර කට්ටක් කන්න ඕනෙද? කීයක්නම් දේවල් වරදින්න පුලුවන්ද? කොච්චර අවදානමක් ගොවියෙක් ගන්න ඕනෙද? මතක්වෙනකොටත් බයහිතෙනවා. ඒ කෙසේ වෙතත්, අපි දැනටමත්, දෙවෙනි වරටත් කුඹුර සකස්කරන්න ආරම්භ කර, පළවෙනි අදියරත් අවසන් කරමින් පවතිනවා.

අවසානයේදී, අපි තීරණය කරා මේ වැඩපිළිවෙල, නවත්තන්නේ නැතිව, දිගටම ඉස්සරහට ගෙනියන්න. කුඹුර මිනිසාට නැතුවම බැරි දෙයක්. විශේෂයෙන් ලංකාව වගේ රටවල ප්‍රධාන ආහාරය බත්. අපි ජීවත් වෙන්නේ මේ ගොවීන් දුක් මහන්සියෙන් සකස්කරන හාල් වලින්. හැබැයි එහෙම කියල අපි වස විස කන්න ඕනේ නෑ නේ ද? අපේ උත්සාහය වස විස ඉවත දාල, හොඳ පිරිසිදු ආහාර වගා කරගන්න අවශ්‍ය ක්‍රම සොයා ගැනීමයි!