වස විසෙන් තොරව කුඹුරක් කරමු
2021 අප්‍රේල් මස 18 වෙනි ඉරිදා, අපේ කුඹුර දෙවෙනි වතාවටත් වැපිරීමට කටයුතු කලා. පලවෙනි වතාවේ සිද්ධවෙච්ච වැරදි අඩුපාඩු නිවැරදි කරමින්, කලින්ට වඩා හොඳ තත්වයක් යටතේ අපි වැඩ පටන්ගත්ත.
බිම සකස් කිරීම
මෙදා සැරේ තණකොළ කපන්න අවශ්‍ය නෑ. කලින් කන්නයේ වපුරපු නිසා වැඩ ගොඩක් ලේසියි. මුලින්ම ට්‍රැක්ටරෙන් හාන්නේ නැතිව මිනිස් ශ්‍රමයෙන් කොටනවා. ඊටපස්සේ දවස් පහක් තණකොළ ටික තැම්බෙන්න ඇරල කලල් කරනවා. ඒ කියන්නෙ තැම්බිලත් බේරිච්ච තණකොළ ආපහු ඇද ඇද යටගහනවා. මේකත් දවස් පහක් තැම්බෙන්න අරින්න ඕනේ. එතකොට තමයි තණකොළ ටික මට්ටු වෙන්නේ. නැත්නම් තෙල් ගහන්න වෙනවා.
පොහොර යෙදීම
අපි කිසිම රසායනික පොහොරක් භාවිතාකරන්නේ නෑ. අපි මෙදා පාර මුලින්ම වපුරන්න කලින් සශ්‍රීක ලංකා ආයතනයෙන් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කුඹුරට යෙදුව.
බීජ සූදානම් කිරීම
බීජ පැල කරන්න කලින්, පැයගානක් වතුරේ දාල, ගොඩ අරන්, බර තියන්න අවශ්‍යයි. එතකොට මේ බීජ මුල් අදිනවා. මෙහෙම පැල කරගත් බීජ තමයි අපි වපුරන්න භාවිතා කරන්නේ. එක එක වී වර්ගයන්ට වෙලාවල් වෙනස්. අපි මෙදාපාර දැම්ම ගෝනබරු පැය 24 ක් වතුරේ දාල පැය 36 ක් බර තියන්න ඕනේ. මෙහෙම පැල කරල වපුරනකොට අපිට වී පැලවෙන්නේ නැත්නම් වපුරන්නේ නැතුව ඉන්න පුළුවන්. අනික් කාරණය වෙන්නේ වී ගහේ මුල් ඇදල පලවීම ආරම්භ කරලා දුන්නාම ඉක්මනින් පලවෙනවා තණකොළ වලට කලින්. අපි මුලින් වපුරන්න සූදානම් කරන් හිටියේ අප්‍රේල් 13. අවාසනාවකට. මුලින් ගෙනාපු වී පැලවුනේනෑ. ඒ නිසා ආපහු වී මිලදී ගන්න අපිට සුද්ධ වුනා.
වී වැපිරීම
18 වෙනිදා උදෙන්ම අපිට නැවත කොටන්න සිද්ධ වුනා. 13 වපුරන්න බැරිවෙච්ච නිසා තණකොළ ටිකක් වැවිල. කොටල ඉවරවෙලා, පෝරු ගාල, වී වැපිරීම සිද්ධ කළා.
ගොයම් නෙලීම
එකට තව මාස 4 ක් විතර ඉන්න වෙනවා! තව මාස 4 කින් පස්සේ මේ කුඹුරේ අස්වැන්න ඔබටත් බුක්තිවින්දින්න පුළුවන්! මහ කෙතේ දේශීය, ජාන වෙනස් නොකරපු වී, වස විස නැතිව සකසාගෙන, රසට බත් පතක් හදාගෙන කමුද? ඒ බත් පතේ හාල් විතරක් නෙමෙයි, එලවලුත් අපි ඉස්සරහට දෙන්න සූදානම්!