තමන්ගේ කුණු ටික විසි කරන්න කලින් පොඩ්ඩක් හිතන්න
අහුවෙන අහුවෙන හැම තැනම කැලි කසල දමා යන ඔබටයි මේ පණිවුඩය. අපි නිතරම බලන්නේ අපේ පැත්ත විතරයි. ඉක්මනින්ම අපේ කුණු අනුන්ට දීල හරි තමන් පිරිසිදු වෙන්න බලනව. ඒකෙන් කී දෙනෙක්ට හානි වෙනවද කියල පොඩ්ඩක්වත් හිතන්නේනෑ.
අපේ සමහරු වල්වැදිලා තියෙන වෙල් වලට කුණු විසිකරල යනවා. තණකොළ නිසා කාටවත් පෙන්නේ නෑ. හිතට නිදහස්. හැබැයි මතක තියාගන්න... දවසක ඔය පුරන් කුඹුරු අස්වද්දනවා. එදාට මිනිස්සු ඔය කුඹුරට බහිනවා. ඔබ විසිකරන බෝතල්කටු, ප්ලාස්ටික් කෑලි මේ අයගේ කකුලේ ඇනෙන්න පුළුවන්. ඇනිලා තුවාලවෙලා, පුරන් කුඹුරක් නිසා මී උණද හැදෙන්න පුළුවන් ඒ තුවාළ වලින් විෂබීජ ඇතුල්වෙලා.
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මමත් ගිය අවුරුද්දේ පුරන් කුඹුරක් වැපිරුවා. මගේ කකුලට බෝතල් කෑලි, වීදුරු කටු විතරක් නෙමෙයි පරාල ඇනයක් ගහපු ලී කෑල්ලකුත් අහුවෙන්න ගියා. කුඹුර එරෙන නිසා පේන්නෙත් නෑ. වැඩේ දන්න නිසා, නියර කිට්ටුව, කකුලට බර දෙන්න කලින් මොනවද තියෙන්නේ කියල දැනෙන්න ඇරිය. මොකක්හරි තද දෙයක් අහුවෙනවනම් මඩට අත දාල ඇදල ගත්ත. අහුවෙන අහුවෙන බෝතල් කෑල්ලක් ගානේ, ඒවා දාපු මිනිස්සුන්ට පිං දුන්න අපි.
ඒ නිසා, මින්පස්සේ, තමන් දෙයක් කරනවිට වෙනකෙනෙකුට හානියක් වේවිද කියල ඉස්සෙල්ල හිතල ඉන්න. තවත් ජීවියෙකුට පමණක් නෙවෙයි. ස්වාභාවදහමටද හානියක් වෙනවද කියල හිතන්න. නැත්නම් ඔබ ජීවත්වෙන ඔබේ නිවස ඔබම විනාසකරගන්නවා වගේ දෙයක් වෙන්නේ! හොඳින් හිතන්න!